07

E   |     |  


ධම්මික දසනායක මහතා

ධම්මික දසනායක මහතා

2012 වසරේ පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයට පත් වූ ධම්මික දසනායක මහතා 1994 වසරේ සහකාර මහලේකම්වරයා ලෙස සිය පාර්ලිමේන්තු දිවිය ආරම්භ කර 2003 වසරේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා බවට පත් විය.

ධම්මික දසනායක මහතා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය (LL.B) සහ නීතිපති උපාධිය (LL.M) සම්පූර්ණ කර ඇත.

1989 වසරේ දී ඔහු රජයේ නීතීඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර, බොහෝ මහාධිකරණවල රජය වෙනුවෙන් නඩු කටයුතුවලට සම්බන්ධ වී ඇත. එමෙන්ම ඒ මහතා එම කාල වකවානුව තුළ රජය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ රිට් අයදුම්පත් රාශියකට ද පෙනී සිට ඇත.

දසනායක මහතා අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU), පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගම් රටවල පාර්ලිමේන්තු සංගමයේ / ‘සාර්ක්’ පාර්ලිමේන්තු සංගමයේ (SAARC) සම්මන්ත්‍රණ රැසකට ද සහභාගී වී ඇති අතර, එතුමන් 2010 - 2012 දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපයේ කලාපීය ලේකම්වරයා ලෙස ද ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීන් සමඟ කටයුතු කර ඇත. 1999 වර්ෂයේදී පාර්ලිමේන්තු පාලන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදනම විසින් ගෞරවනීය පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ද ධමමික දසනායක මහතාට පිරිනමන ලදී. තවද, 2004 වර්ෂයේදී එතුමන්ගේ පාර්ලිමේන්තු සංවර්ධන ක්‍ෂේත්‍රය තුළ ඇති දීර්ඝකාලීන අත්දැකීම් සහ ප්‍රවීණත්වය ඇගයීමට ලක් කරමින් ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා 'අවශ්‍යතා ඇගයීම් කිරීමේ මෙහෙයුම' ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පිහිටුවන ලද විශේෂඥ පාර්ලිමේන්තු මණ්ඩලයක් මෙහෙයවීම සඳහා ද දසනායක මහතාට ආරාධනා කරන ලදී. 2006 වර්ෂයේදී, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කමිටුව ශක්තිමත් කිරීමට සහ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් කාර්යාලය පිහිටුවීමට තාක්ෂණික සහාය ලබා දෙන ලෙස දසනායක මහතාට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් ආරාධනා කරන ලදී. එමෙන්ම, දසනායක මහතාට ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පුහුණුවීම් සිදුකිරීමට ද අවස්ථා ගණනාවකදී ඇරයුම් ලැබී ඇත. ඔහු පාර්ලිමේන්තු සංවර්ධනය, සාමාජිකයින්ගේ සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ජාත්‍යන්තර පාර්ලිමේන්තු විශේෂඥයෙකු සහ සම්පත් දායකයෙකු ද වේ.

ඔහු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ පාර්ලිමේන්තුව නවීකරණය කිරීමටත්, පාර්ලිමේන්තු කටයුතුවල සෑම අංශයක්ම නව තාක්ෂණය භාවිතයට යොමු කිරීමටත් පාර්ලිමේන්තු සංවර්ධන කටයුතු හා සම්බන්ධ පාර්ශව සමඟ එක්ව කටයුතු රැසක් ආරම්භ කළේය. එමෙන්ම ඔහු විවෘත පාර්ලිමේන්තු සංකල්පය සම්බන්ධවද ප්‍රබල ලෙස අදහස් ඉදිරිපත් කළ අයෙකි.

ධම්මික දසනායක මහතා පුරා වසර 29 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කර, 2023 මැයි මස 22 වැනි දින පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් විශ්‍රාම ගියේය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks