බලන්න

E   |     |  

මාර්ග අනතුරු සම්බන්ධයෙන් වන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව

ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

රථවාහන අනතුරු 150 ක් පමණ දිනපතා ශ්‍රී ලංකාවේ සිදුවන බවත්,  ඒ හේතුවෙන්    වටිනා ජීවිත 5ක් 6ක් පමණ අහිමි වන බවත් වාර්තා වී ඇති හෙයින් ද;

රථවාහන අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් වැය කරන බව වාර්තා වී ඇති හෙයින් ද;

සෑම වසරකම වාහන විශාල සංඛ්‍යාවකට හානි සිදු වන බවත්, එම හානියට ‍පත් වාහන අලුත්වැඩියා කිරීම සඳහා රක්ෂණ සමාගම් විසින් රුපියල් බිලියන ගණනක් ගෙවනු ලබන බවත් වාර්තා වී ඇති හෙයින් ද;

රථවාහන තදබදය හේතුවෙන් වාහන සඳහා භාවිතා කරන ඉන්ධන සැලකිය යුතු ප්‍රතිශතයක් අපතේ යන හෙයින් ද;

රථවාහන අනතුරු, ජනතාවට සහ රටට අතිවිශාල සෞඛ්‍ය හා සමාජ ආර්ථික බරක් වී ඇති හෙයින් ද;

එක්සත් ජාතීන්ගේ මහා ‍සම්මේලනය 2011-2020 දශකය මාර්ග ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීමේ දශකය ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙයින් ද; සහ

ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා හයවැනි පාර්ලිමේන්තුවේ පත් කරන ලද විශේෂ කාරක සභාවට එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථමයෙන් එහි අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි වූ හෙයින් ද;

(අ)  රථවාහන අනතුරුවල වැඩි වීම සංඛ්‍යානමය වශයෙන් වර්ගීකරණය කොට එම වැඩි වීමේ හේතුකාරක විද්‍යාත්මක ලෙස හඳුනාගැනීම අවශ්‍ය වන්නේද යන්නත්;

   (ආ) වැඩි වන වාහන සංඛ්‍යාවට ඉඩ සැලසීමට මෙරට මාර්ග පද්ධතිය ප්‍රමාණවත් ද    යන්නත්;

(ඇ) මෝටර් වාහන පදවන්නන්, පාපැදිකරුවන් හා පදිකයින් ඇතුළු මාර්ග භාවිතාකරන්නන් විසින් මාර්ග නීති රීති සම්පූර්ණයෙන් නොසලකා හැර තිබේද යන්නත්;

(ඈ)  නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්, විශේෂයෙන් පොලිසිය, මාර්ග නීති රීති සාර්ථක ලෙස ක්‍රියාවේ යෙදවීමට අසමත් වී තිබේද යන්නත්;

(ඉ)  මාර්ග නීති රීති පිළිබඳව නව නීති හඳුන්වා දීමට හෝ දැනට පවත්නා නීති සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේද යන්නත්;

(ඊ) හදිසි අනතුරු වැළැක්වීම සඳහා නවීන මාර්ග ආරක්ෂක උපකරණ, තාක්ෂණය හා ක්‍රමවේදයන් මෙරට අත්හදා බලනු ලබන්නේද යන්නත්;

(උ) අනතුරුවලට ගොදුරුවූවන්ගේ සුභ සාධනය සඳහා කටයුතු කිරීමටත්, ඔවුන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට වන්දි ලබා දීමටත් ක්‍රමවේදයක් තිබේද යන්නත්;

  (ඌ)  රථවාහන අනතුරු වළක්වාලීම සඳහා කවර කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රමවේදයන් අවශ්‍ය වේද යන්නත්;

සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

 

 

2.         (අ)       මෙම කාරක සභාව හා එහි සභාපතිවරයා කථානායකවරයා විසින් නම් කරනු ලැබිය යුතුය.

(ආ)     ස්ථාවර නියෝග අංක 95 හි විධිවිධානවල කුමක් සඳහන්වී තිබුණ ද, මෙම කාරක සභා‍ව සාමාජිකයන් දහ හත් (17) දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3.   එම කාරක සභාවට,—

        (අ)       සිය ගණපූරණය නියම කර ගැනීමට ද;

        (ආ)      සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තකු කැඳවීමට ද, යම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යම් තැනැත්තකුට නියම කිරීමට ද, ඉහත සඳහන් කරුණු පූර්ණ ලෙස සලකා බැලීම පිණිස අවශ්‍ය යැයි කාරක සභාව කල්පනා කරන ලිඛිත හෝ වාචික සාක්ෂි ලබා ගැනීමට හා භාරගැනීමට ද;

        (ඇ)      කාරක සභාවේ සහාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද; සහ

        (ඈ)      කලින් කල අතුරු වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද, රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

            බලය තිබිය යුතුය.

 

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

ධම්මික දසනායක

දුරකථන

0094-11-2777228

ෆැක්ස්

0094-11-2777227

ඊ-මේල් ලිපිනය

dhammika_d@parliment.lk

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය

දිනය: 2015-07-26





ආශ්‍රිත තොරතුරු

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04

ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2014-12-12





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks