07

E   |     |  

2018-10-16

නවරාත්‍රී පූජෝත්සවය 2018

මනුෂ්‍ය වර්ගයාට වීරත්වය, ධනය හා නුවණ ළඟා කර ගැනීම සඳහා දුර්ගා දේවිය, ලක්ෂ්මි දේවිය, සරස්වතී දේවියගේ ආශිර්වාදය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සමරන නවරාත්‍රී පූජෝත්සවය දහහතරවෙනි වරටත් මේ වසරේ 2018 ඔක්තෝබර් 10 වැනි බදාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.

පූජාව පැවිත්වීමට යෙදුණු දිනයේදී, එනම් 2018 ඔක්තෝබර් 10 වැනි බදාදා උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණය උත්සවශ්‍රීයෙන් ඇළලී ගිය අතර ‘නන්දි’ කොඩි, ගොක් කොළ, කෙසෙල් ගස්වලින් සරසා තිබුණි. මල් මාලාවලින් සරසන ලද දුර්ගා, ලක්ෂ්මි, සරස්වතී යන දේවියන්ගේ පිළිරූ විශේෂයෙන් සකසන ලද පීඨිකාවක් මත තැන්පත් කර තිබුණි. එමෙන්ම සංස්කෘතික වැඩසටහන සඳහා විශාල ප්‍රමාණයේ විශේෂ වේදිකාවක්ද සකසා තිබුණි.

පෙ.ව. 9.30 ට යෙදුණු සුබ මොහොතින් උත්සවය ආරම්භ වූ අතර, එහි කටයුතු සම්ප්‍රදායික මංගල වාදනය මධ්‍යයේ ඉදිරියට කරගෙන යන ලදී. කථානායක ගරු කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක ගරු ආනන්ද කුමාරසිරි , නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන්, සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා, විපක්ෂ නායක ගරු ආර්. සම්පන්දන්, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ගරු ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන්ගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ පැමිණීමත් සමඟ පෙ.ව. 9.30 ට විශේෂ පූජාව ආරම්භ විය.

මෙම විචිත්‍රවත් පූජාව කොළඹ ශ්‍රී පොන්නම්බලවනේස්වරාර් කෝවිලේ පූජක සිව ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල්තුමාගෙන් සමන්විත පූජකවරු පැවැත්වූහ. මෙම පූජෝත්සවයට පාර්ලිමේන්තු සේවකයින් හා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ සේවකයින් විශාල පිරිසක් සහභාගි විය.

පූජාවෙන් පසු කොළඹ භවානි කුහප්ප්‍රියා මහත්මියගේ සිසුවියන් සංස්කෘතිකාංග වැඩසටහන් ඉදිරිපත් කරන ලදී. ඔවුන් ඉදිරිපත් කරන ලද නර්තනාංග පැමිණ සිටි සැමදෙනාගේ සුවිශේෂී ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සාමය හා සෞභාග්‍යය උදා කර ගැනීම සඳහා මෙන්ම අපේ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නවරාත්‍රී දිනවලදී සරස්වතී පූජාව උත්සවාකාරයෙන් පැවැත්වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks