07

E   |     |  

2016-10-06

නවරාත්‍රී පූජෝත්සවය 2016

මනුෂ්‍ය වර්ගයාට වීරත්වය, ධනය හා නුවණ ළඟා කර ගැනීම සඳහා දුර්ගා දේවිය, ලක්ෂ්මි දේවිය, සරස්වතී දේවියගේ ආශිර්වාදය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සමරන නවරාත්‍රී පූජෝත්සවය දහතුන්වන වරටත් මේ වසරේ 2016 ඔක්තෝබර් 04 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.

පූජාව පැවිත්වීමට යෙදුණු දිනයේදී, එනම් 2016 ඔක්තෝබර් 04 දින උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණය උත්සවශ්‍රීයෙන් ඇළලී ගිය අතර ‘නන්දි’ කොඩි, ගොක් කොළ, කෙසෙල් ගස්වලින් සරසා තිබුණි. මල් මාලාවලින් සරසන ලද දුර්ගා, ලක්ෂ්මි, සරස්වතී යන දේවියන්ගේ පිළිරූ විශේෂයෙන් සකසන ලද පීඨිකාවක් මත තැන්පත් කර තිබුණි. එමෙන්ම සංස්තෘතික වැඩසටහන සඳහා විශාල ප්‍රමාණයේ විශේෂ වේදිකාවක්ද සකසා තිබුණි.

පෙ.ව. 9.00 ට යෙදුණු සුබ මොහොතින් උත්සවය ආරම්භ වූ අතර, එහි කටයුතු සම්ප්‍රදායික සංගීත වාදනය මධ්‍යයේ ඉදිරියට කරගෙන යන ලදී. කථානායක ගරු කරු ජයසූරිය, විපක්ෂ නායක ගරු ආර්. සම්පන්දන්, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරුන්ගේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමත් සමඟ පෙ.ව. 9.30 ට විශේෂ පූජාව ආරම්භ විය.

මෙම විචිත්‍රවත් පූජාව කොළඹ ශ්‍රී පොන්නම්බලවනේස්වරාර් කොවිලේ පූජක සිව ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල්තුමාගෙන් සමන්විත පූජකවරු පැවැත්වූහ. මෙම පූජෝත්සවයට පාර්ලිමේන්තු සේවකයින් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ සේවකයින් විශාල පිරිසක් සහභාගි විය.

පූජාවෙන් පසු කොළඹ රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ සිසුවියන් සංස්කෘතිකාංග වැඩසටහන් ඉදිරිපත් කරන ලදී. ඔවුන් ඉදිරිපත් කරන ලද නර්තනාංග පැමිණ සිටි සැමදෙනාගේ සුවිශේෂී ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සාමය හා සෞභාග්‍යය උදා කර ගැනීම සඳහා මෙන්ම අපේ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නවරාත්‍රී දිනවලදී සරස්වතී පූජාව උත්සවාකාරයෙන් පැවැත්වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks