07

E   |     |  

2014-10-02

නවරාත්‍රී පූජෝත්සවය 2014

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ නවරාත්‍රී පුජෝත්සවය එකොළොස්වැනි වතාවටත් 2014 සැප්තැම්බර් මස 25 වැනි දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. වීරත්වයට අධිපති දුර්ගා දේවිය, ධනයට අධිපති ලක්ෂ්මි දේවිය සහ නුවණට අධිපති සරස්වතී දේවියගේ ආශිර්වාදය ලබා වීරත්වය, ධනය සහ නුවණ ළඟා කර ගැනීමේ අදිටනින්ද, ඉපැරණි සංස්කෘතික අංගයන් පෝෂණය කරමින් සාමය, සතුට මෙන්ම සෞභාග්‍ය උදා කර ගැනීම අරමුණු කොට ගෙන ද වාර්ෂිකව නවරාත්‍රී පූජාව පවත්වනු ලැබේ.

පූජාව පැවැත්වීමට යෙදුණු දිනයේදී එනම්, 2014 සැප්තැම්බර් මස 25දා පාර්ලිමේන්තු සංකීර්ණය උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ගොක් කොළ සහ කොඩිවලින් පූජා පරිශ්‍රය අලංකාර‍ කොට තිබුණි. පූජෝත්සවයේ අංගයක් ලෙස සංස්කෘතික වැඩසටහනක්ද ඉදිරිපත් විය. ඒ වෙනුවෙන් සැකසුනු විශේෂ පීඨිකාව දවුල්කරුවන්ගේ සහ නලාකරුවන්ගේ අසිරිය ගෙන තිබුණි. ඒ සමඟම පෙරවරු 10.00ට විශේෂ පූජාව පැවැත්විණි.

නියෝජ්‍ය කථානායක ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු මුරුගේසු චන්ද්‍රකුමාර් මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගිවීම විශේෂයෙන්ම කැපී පෙනුණි. දෙහිවල ශ්‍රී වෙංකඩේස්වර මහ විෂ්ණු කෝවිලේ සිවශ්‍රී කේ.කේ. වෛදීෂ්වර කුරුක්කල්තුමාගෙන් සමන්විත පූජකවරු පූජාව පැවැත්වූහ. මෙම පූජෝත්සවය වෙනුවෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සේවකයින්, හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ පාර්ලිමේන්තුවේ සේවකයින් විශාල පිරිසක් ද සහභාගි වුණි.

මෙම පූජෝත්සවය වර්ණවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ රාමනාදන් ලලිත කලායතනයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ නර්තනයක්ද, කිලිනොච්චිය මහ විදුහල සහ නුවර සත්‍ය සායි කලායතනයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග ද රැස්ව සිටි අය අමන්දානන්දයට පත් කිරීමට සමත් වුණි. අවසානයේදී නර්තනාංග සඳහා සහභාගි වූ සියලුම සිසු සිසුවියන් වෙත සහතික පත් ද පිරිනමන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks