E   |     |  

2019-10-23

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) තෙවන වාර්තාව පාර්ලිමේන්තුවට

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව් 2018 වර්ෂයේ දී ගණනය කරන ලද මුළු අලාභය රුපියල් කෝටි 10,502 ක් බව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කාරක සභාවේ) තෙවන වාර්තාවෙන් අනාවරණය වේ.

 

පසුගිය වසරේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රුපියල් කෝටි 50 ක (රු 505,408,042) අලාභයක්ද, සි/ස ඇල්කඩුව වැවිලි සමාගම රුපියල් තුන්කෝටියක (රු 33,622,258) අලාභයක් ද ලබා තිබේ. මෙයට අමතරව 2018 වර්ෂයේදී පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය රුපියල් 2,187,367ක් ද, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය රුපියල් 3,567,328ක් ද වශයෙන් පාඩු ලබා ඇති බව කෝප් වාර්තාවේ සඳහන් වේ.

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාවට ඇතුළත් ආයතන අතරින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතන විසින් අපේක්ෂිත මූල්‍ය වාර්තා මේ වන තෙක් ඉදිරිපත් කොට නොමැති බව කාරක සභා වාර්තාව මගින් තවදුරටත් අනාවරණය කර ඇත.

 

ලංකා හොස්පිට්ල් කෝපරේෂන් පි.එල්.සී, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත ස්ස්ථාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම ඇතුළු ආයතන 23ක ගිණුම් විගණනය කරමින් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තා පදනම් කරගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන ලද අධීක්ෂණ මගින් ඉහත අලාභයන්  අනාවරණය කරගෙන තිබේ.

 

2019 අගෝස්තු 09 වන දින සිට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය ආවරණයට විවෘත කිරීමත් සමග වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සිදුවෙමින් පවතින අභියෝගයන්ට මුහුණ දීමට පුරවැසියන් හට මැදිහත් වීමට තිබෙන අවස්ථා තව දුරටක් පුළුල් වී තිබේ.

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ පිළිබඳ අදහස් දැක්වූ එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ  කටයුතු පිළිබඳ ගෞරවයක් ප්‍රසාදයක් තිබෙන අතරම එහි බලතල පිළිබඳ වැඩි අවධානයක් ජනතාව අතර ගොඩනැගී ඇති නිසා කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශ වලට ඊලඟට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මහජනතාව‍ ප්‍රශ්න කරන බවයි.

 

විශේෂයෙන් 2019 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කාරක සභාවේ දෙවන වාර්තාවෙන් ඉදිරිපත් කළ ආයතන පිළිබඳ අමාත්‍යංශ නිරීක්ෂණ සති 08ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද, මේවන තෙක් එම ආයතන 08න් 05ක් ම සිය නිරීක්ෂණ ඉදිරිපත් කොට නොමැති බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

 

මෙම කරුණු සඳහන් කරමින් සභාපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ සිය කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශ මත කඩිනමින් අදාල වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ බලයක් සහිත නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි. මේ මගින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරෙන ආයතනවල අක්‍රමිකතා ඇසින් දුටු සාක්ෂි ලෙස පදනම් කරගනිමින් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමේ හැකියාව හිමි වනු ඇති බව ද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

 

මෙම ඉල්ලීමට එකඟත්වය පළ කළ නියෝජ්‍ය කථානායකවරයා කථානායකතුමා සමග සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු පියවරක් ගන්නා බව දන්වා සිටියේය.

 



සම්බන්ධිත පුවත්

2025-11-18

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී  අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය  වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී  අස්වැසුම  සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම්  පිරිසක්  සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2025-11-17

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවේදී සාකච්ඡා කරයි

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාල‍ාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.


2025-11-15

පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අමාත්‍යාංශයට යෝජනාවක්

අමාත්‍යාංශ  කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12  යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ න‍ායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.  


2025-11-15

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී  සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින්  මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන  බවත්  කාරක සභා සභාපතිවරයා  මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි  වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks