E   |     |  

2023-12-09

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන සමාගම් මත වැට් බදු අයකළ යුත්තේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරවන අධිකරණ සීමාවට අදාළව නොව පාරිභෝගික අධිකරණ සීමාවටයි - ආසියානු අන්තරජාල සංගමය (AIC) රජයේ මුදල් පිළබඳ කාරක සභාවේදී පෙන්වා දෙයි

මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන සමාගම් මත වැට් බදු අයකිරීමේදී  ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ  අදාළ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ව්‍යාපාර අධිකරණ සීමාවට අදාළව බදු අයකිරීම නොව පාරිභෝගික අධිකරණ සීමාවට අදාළව බදු අය කිරීම බව අන්තර්ජාල කර්මාන්තයේ ප්‍රධාන කණ්ඩායම්  නියෝජනයක් සහිත ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල ප්‍රතිපත්ති විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරන ආසියානු අන්තර්ජාල එකමුතුව (Asia Internet Coalition - AIC) පසුගියදා පැවසීය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ක්‍රියාවට නැංවීමෙන් දේශීය මෘදුකාංග සහ ඩිජිටල් සේවා සැපයුම්කරුවන් කෙරෙහි වන බලපෑම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී  සැලකිල්ලට ගත් අවස්ථාවේදී ඉහත කරුණු සාකච්ඡා කෙරිණි.

පෙර පැවති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී  මතු වූ ගැටලුවක දිගුවක් ලෙස, PickMe, Uber, AIC (Meta, Google, X, Booking.com, Amazon, ආදිය නියෝජනය කරමින්) සහ Daraz වැනි දේශීය සහ ජාත්‍යන්තර මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (දෙසැ. 07) පැවැත්වුණු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබිණි.

එවැනි සියලුම මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන් දැනට වැට් බද්ද අයකිරීමෙන් නිදහස් කර ඇති බවත් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අගය එකතු කළ බදු (සංශෝධන) පනත් කෙටුම්පතත් සමඟ එම සියලු නිදහස් කිරීම් අවසන් වන බවත් මෙහිදී අනාවරණය විය. එම විධිවිධාන මෙරට තුළ (on shore)  පමණක් අදාළ වන බැවින් අක්වෙරළ (off shore) එනම් මෙරටින් බැහැර සිට ක්‍රියාත්මක වන ව්‍යාපාර සදහා  වඩා වාසිදායක ලෙස බලපාන බව අනාවරණය විය. ඒ අනුව මෙරට සිට ක්‍රියාත්මක වන (on shore)  මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන්නට අවාසියක් සිදුවන බව මෙහිදී සාකච්ඡා විය.

එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් මගින් මෙරට  ව්‍යාපාර (on shore)   ක්‍රියාත්මක වීම අධෛර්යමත් කරනු ඇති බවත්, එමගින් රාජ්‍ය ආදායමට බලපෑම් ඇති කරමින් එවැනි එම  ව්‍යාපාර මෙරටින් බැහැරව (off shore) ආරම්භ කිරීමට පෙළඹෙන බවත් කමිටුවේ අදහස විය. ඒ අනුව, ආසියානු අන්තර්ජාල  එකමුතුවේ (AIC) සහාය ඇතිව මෙම ගැටලුව පිළිබඳව සොයා බලන ලෙසත් 2023 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ඉදිරි මාර්ගයක් පිළිබඳව කමිටුවට වාර්තා කරන ලෙසත් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කරන ලදී.

තවද, කාරක සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබූ  නියෝග පහක් සහ යෝජනා සම්මතයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ අංක 2347/06 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති යෝජනාව සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනත යටතේ අංක 2345/64, 2346/16, 2348/44 සහ 2353/77 දරන ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත් කරන ලද නියෝග පහක් සාකච්ඡාවට ගෙන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.

තිරිඟු සහ මුං ඇට වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට බලපාන බදු වැඩි කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පෙර මුදල් අමාත්‍යාංශය විසින් අදාළ සියලු ආයතනවල සහාය ඇතිව ගැඹුරු විශ්ලේෂණයක් කළ යුතු බව කමිටුවේ අදහස විය.

තවද, 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට අදහස් කරන තීරු බදු රහිත වෙළඳ කලාපයට (Down – Town Duty Free) අදාළ රෙගුලාසි පිළිබඳව  ද කමිටුවේ අවධානය යොමු විය.

ඒ අනුව, ඩවුන්ටවුන් තීරුබදු රහිත වෙළඳ සංකීර්ණය ප්‍රධාන වශයෙන් චීනයේ සහ ඉන්දියාවේ සංචාරක පාරිභෝගිකයින්ගෙන් 70% ක් ඉලක්ක කර ගන්නා අතර ගෝලීය වෙළඳ නාම ඇතුළු නිෂ්පාදන කාණ්ඩ 25 කින් යුත් සුපිරි සුඛෝපභෝගී සන්නාමයන්ගෙන් සමන්විත වේ.

මීට අදාළ  රෙගුලාසි යටතේ ආනයනය කළ හැකි භාණ්ඩ මොනවාදැයි සඳහන් කරන ඇතැම් විධිවිධාන නීත්‍යානුකූලව බැඳී නොමැති බව කාරක සභාවට මෙහිදී නිරීක්ෂණය විය. එබැවින්, නීතියේ හිඩැස් වළක්වා ගැනීමට සහ ජනතාව සූරාකෑමෙන් අසාධාරණයක් සිදුවීම වළක්වා ගැනීමට එම රෙගුලාසිය නැවත සමාලෝචනය කළ යුතු බව කමිටුව දැනුම් දුන්නේය. ඒ අනුව සාකච්ඡාවට බඳුන් වූ එම ගැටලු නිවැරදි කර කමිටුවට  ඉදිරිපත් කරන ලෙසට කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින්ට උපදෙස් දීම සිදුවිය.

රාජ්‍ය  අමාත්‍ය ගරු වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චන්දිම වීරක්කොඩි, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු වජිර අබේවර්ධන, ගරු නිමල් ලාන්සා, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ  ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2025-11-18

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී  අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය  වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී  අස්වැසුම  සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම්  පිරිසක්  සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2025-11-17

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවේදී සාකච්ඡා කරයි

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාල‍ාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.


2025-11-15

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී  සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින්  මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන  බවත්  කාරක සභා සභාපතිවරයා  මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි  වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2025-11-15

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් ‘කෝප්’ කමිටුවේ අවධානය

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.  මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වට (කෝප්) කැඳවා  2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීම‍ාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා  කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක  නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.  මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks