E   |     |  

2025-01-27

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය (SME) වෙනුවෙන් සහන සැපයීම සහ දිරිමත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය.

 

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ දක්වා ඇති පරිදි  උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී (COPF) සාකච්ඡාවට ලක් විය.

මෙම වාර්තාව 2024 වර්ෂයේ දෙවන සහ තෙවන කාර්තු සඳහා  මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබුණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය ජනවාරි 23 වනදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.

ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ (CBA) 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කය අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා නිශ්චිත ආන්තිකයකින් පවත්වාගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එය මහජනතාවට ද ලබා ගත හැකිය.

2023 ඔක්තෝබර් 03 වැනිදා අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය 5% ලෙස දක්වා ඇති අතර මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ අවශ්‍යතාව මත උද්ධමන ඉලක්ක සඳහා වන ආන්තික ප්‍රතිශතාංක ± 2 ක් ලෙද දක්වා තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය, 2024 දෙවන සහ තුන්වන කාර්තු දෙකෙහි අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) නියම කර ඇති ආන්තිකයට වඩා පහළින් උද්ධමන ඉලක්කයෙන් බැහැර ව තිබුණි. එය පිළිවෙලින් 1.4% ක් සහ 0.8% ක් ලෙස වාර්තා වී ඇති බැවින් ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තිය යටතේ අවශ්‍ය වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් විසින් දීර්ඝව කරුණු පැහැදිලි කරන ලද අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විමසීම් ප්‍රශ්න සඳහාද පැහැදිලිකිරීම් සිදු කරන ලදි. මේ අනුව උද්ධමන ඉලක්කයෙන් බැහැර වීමට හේතුවන ප්‍රධාන සාධක සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළ අතර විදුලි ගාස්තුව, දේශීය ඉන්ධන මිල, අහාර මිල, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය, බැංකු පොලී අනුපාතය, මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පෙන්වා දෙන ලදි. තවද ශ්‍රී ලංකාව 5% උද්දමන ඉලක්ක නිවැරදිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර මුදල් ප්‍රතිපත්තිය වඩාත් අවධානය යොමු කොට නිවැරදි තුළනයක් සහිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වාදෙන ලදි.

එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය (SME) වෙනුවෙන් සහන සැපයීම සහ දිරිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මහ බැංකුව විසින් සපයන ලද දත්ත මත පදනම්ව, ප්‍රතිව්‍යුහගත ණයවල රුපියල් මිලියන 25 ට අඩු හිඟ ප්‍රාග්ධනයක් ඇති ණය හිමියන්ගෙන්  99% කට බැංකු සමඟ නැවත සාකච්ඡා කර බේරුම්කරණ මාර්ගයකට එකඟ වීමට මාස 12 ක කාල දිගුවක් ලබා දීම සහ රුපියල් 25,000,000 ත් 50,000,000 ත් අතර ණය ලබාගත් ණය හිමියන්ට මාස 9 ක දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් සහ අනෙකුත් සියලුම ණය හිමියන් වෙනුවෙන් මාස 6 ක දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. එසේම රජය විසින් යෝජනා කර මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත සහන පැකේජයට ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය ලිහිල් කිරීම, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ප්‍රතිව්‍යුහගත කරන ලද ණය සඳහා අඩු පොලී අනුපාත ලබා දීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා විය.

මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේ එක් එක් ක්ෂේත්‍ර පිළිබඳ සළකමින් මෙම සහන දීම සිදු කිරීම අපහසු බවයි. එසේම කලාපයේ පවතින අනෙකුත් රටවල් විසින් පවත්වාගෙන යන උද්දමන අනුපාතය සම්බන්ධයෙන්ද මෙහිදී  සාක්ච්ඡා විය. තවද මෙවැනි සාකච්ඡාවක් කාර්තුවකට වරක් හෝ පැවැත්වීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදි.

මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. එසේම කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හශීම් සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2025-02-16

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් අද (පෙබ. 14)  පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.එසේම මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාවද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි විය.මෙම කාරක සභාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.


2025-02-13

ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා - ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සභාපති

සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක්...උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් - කාරක සභා සභාපති ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.එම අදහස් පළවූයේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය පෙබ. 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද එක්ව සිටියේය.ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය. ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, සතොස වෙළඳසැල් ජාලය ඉදිරියේදී පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව එම වෙළඳසැල් ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හැකි බව පැවසුවේය. ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් සතොස වෙළඳසැල් ජාලය හරහා මාළු අලෙවි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට බලාපොත්තු වන බව පැවසුහ. ඒ අනුව පරිභෝගිකයාට වඩාත් පහසුවෙන් පිසීමට හැකිවන පරිදි අදාළ මාළු වර්ග ඇසුරුම් කර ලබාදීමට ද සැලසුම් කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.මෙම රැස්වීමේදී දිවයිනපුරා ධීවර කර්මාන්තය ආශ්‍රිතව පවතින විවිධ ගැටලු පිළිබඳව ගරු මන්ත්‍රීවරයන් විසින් අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. තහනම් දැල් හා ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලීම , මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත පවතින ගැටලු, මෙරට වරායන් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස කාරක සභාව තුළ සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාතේ පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් යොමුකරමින් අවශ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.මේ අතර 2021 වර්ෂය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද කාරක සභාව තුළ සලකා බලා අනුමත කරන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025-02-13

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගරු අග්‍රාමාත්‍යවරි‍යගේ ප්‍රධානත්වයෙන් ඉදිරි ක්‍රියාකාරී සැලසුම් පිළිබඳ සාකච්ඡා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.02.07 දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙහිදී පළාත් මට්ටමින් 25% ක කාන්තා නියෝජනයක් ලැබෙන ආකාරයෙන් කාන්තා නියෝජනය වැඩි කිරීමේ හැකියාව පිළිබඳව සංසදය විසින් සාකච්ඡා කරන ලදි. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පවතින නීති සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳවද සංසදයේ අවධානය යොමු විය.එසේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් පත් කිරීම සම්බන්ධයෙන් සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටීමට දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කළේය.තවද රැකියා ස්ථානයේ ලිංගික හිංසන තුරන් කිරීම සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) තුරන් කිරීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ සැලසුම් පිළිබඳව ද සංසද‍යේ අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, දීප්ති වාසලගේ, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සාමිවේල් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


2025-02-07

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒකාබද්ධව රැස්වෙයි

මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව විධිමත් ලෙස ලබාදීමට පියවර - ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීමටත් යෝජනා…මිලියන 1100 වැය කොට මහපොළ අරමුදලෙන් SLIIT ආයතන ඉදි කිරීම පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බව ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි ගරු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පැවති දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ පවතින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සමඟ ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා (පෙබ. 05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙහිදී 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 160අ, 162ආ, 161ඇ, 161ඈ, 161ඉ, 161ඊ, 161උ, 161එ, 161ඔ, සහ 161ඕ වගන්ති සමඟ කියවිය යුතු 204 වගන්තිය යටතේ එවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ඔක්තෝබර් 22 දිනැති අංක 2407/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බලනු  ලැබූ අතර  කාරක සභා දෙකේම අනුමතිය ඒ සඳහා හිමි විය.තවද මෙහිදී 2023 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව  සලකා බලනු ලැබූ අතර කාර්ය සාධන වාර්තා ප්‍රමාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරමින්  මෙම වාර්තාව අනුමත කරන ලදී.මහපොළ භාරකාර අරමුදල අවභාවිතා කොට SLIIT  ආයතනය ඉදි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු විමසන ලදි.  මේ අනුව රු.මිලියන 1100 වැය කොට SLIIT ආයතනය ඉදි කොට ඇත්තේ මහපොළ භාරකාර අරමුදලට අයත් ඉඩමක බව ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළ අතර පසුගිය කාල වකවානුව තුළ වෝහාරික විගණනයක් කළ බවට සඳහන් වුවද එම වාර්තා සහ තොරතුරු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැති  බව පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන්  නැවත වෝහාරික විගණනයක් සිදු කොට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවට අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.  තවද දේශපාලන තීන්දු තීරණ මත මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 97ක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 37ක් නැවත භාරදී නොමැති බවත් ඒ පිළිබඳව ද  විමර්ශන සිදු කරමින් පවතින  බවත් අමාත්‍යවරයා පැවසීය.විශ්වවිද්යාල ශිෂ්යයන්ට ශිෂ්‍යාධාර ලබා දීමේදී රුපියල් 2650.00 ක මුදලක් මහපොළ භාරකාර අරමුදල මගින් ද රුපියල් 2450.00 ක මුදලක්  විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව මගින් ද  ලබා දෙන බවත් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී පැවසීය. එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා  මෙම මුදල් ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්  බවත්,  රුපියල් මිලියන 563ක පමණ මුදලක් තවමත් ලැබීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා මෙහිදී තවදුරත් පැවසීය. ඉදිරි වර්ෂ 2-3 තුළදී මහපොළ අරමුදල මගින් ප්‍රතිලාභ ලබාදීමට නම් මහා භාණ්ඩාගාරය මගින් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලැබීම අත්‍යවශ්‍ය බව මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.තවද මෙහිදී ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියේ ගෙවීමට ඇති මහපොළ ශිෂ්‍යධාර හිඟ මුදල් ඉදිරි මාස තුන ඇතුළත ගෙවීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි. එසේම අප්‍රේල් මස සිට මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව විධිමත් ලෙස ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකිරීමට ද මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව ගරු ජනාධිපතිවරයා ඉදිරි අයවැය තුළින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.සතොස සහ සමුපකාර ව්‍යාපාරයට අදාළ ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර  මහජනතාවට වඩාත් කාර්‍යක්ෂම සේවාවක් සැපයිමට සුදුසු  තත්ත්වයකට සතොස සහ සමුපකාර ව්‍යාපාරය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභාව සඳහා ගරු සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා ඇතුළු ගරු මන්ත්‍රීවරයන් ද   වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද  සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks