E   |     |  

2025-02-17

පුවත් කාණ්ඩ : පුවත් 

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතයි

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද (පෙබ. 17) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද පස්වරු 2.00 සිට සවස 7.00 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව පැවති දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 187 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්දය භාවිත නොවිණි. කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව පැවති තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158 ක් හිමි විය. විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි. මේ අනුව පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර සහ තෙවැනිවර කියවීමේදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය.





සම්බන්ධිත පුවත්

2025-11-15

සේවා කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරයා ගරු කථානායකතුමා හමුවෙයි

මෙරට සිය සේවා කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ගරු ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (Andrés Marcelo González Garrido) මහතා ඊයේ (නොවැ. 14) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.මෙහිදී තානාපති ගොන්සාලෙස් ගැරිඩෝ මහතා, ශ්‍රී ලංකාවේ වසර හතරහමාරක සේවා කාලය තුළ තමාට සහ ඔහුගේ දූත පිරිසට ලබා දුන් සහයෝගය සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ගරු කථානායකතුමාට සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන් දසවැනි පාර්ලිමේන්තුව සඳහා පසුගියදා පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව සහ වැදගත්කම ඔහු අවධාරණය කළේය.සිය මෙහෙවර සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබදව ගරු කථානායකතුමා විසින්  තානාපතිවරයාට සුබ පැතුම් එක්කළ  අතර, දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයාගේ කැපවීම ඇගයීමට ලක් කළේය. ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ ගරු කථානායකවරයා, සහයෝගය අවශ්‍යවූ අවස්ථාවලදී කියුබාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කළ බවත් සඳහන් කළේය. මෙම දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු මෙහිදී අවධාරණය කළේය.ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට කියුබාව ලබාදී ඇති සහයෝගය පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සිය අත්දැකීම් සිහිපත් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන්ගේ මනුෂ්‍යත්වය, කැපවීම සහ සේවය ප්‍රශංසනීය බවයි. ශ්‍රී ලංකාවේ කියුබානු ආයෝජන වැඩි කිරීම සඳහා ආරාධනා කළ කථානායකවරයා  කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුළුල් තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.


2025-11-14

2026 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මතයි

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි අද (නොවැ. 14) සම්මත විය. අද ප.ව. 6.20 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් ද විරුද්ධව ඡන්ද 42ක්ද හිමි වූ අතර, ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 08 කි.  2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 08 සිට අද (14) දක්වා, දින 6 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.මේ අනුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වේ. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය. 


2025-11-14

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

ගරු වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.සංගමය නැවත පිහිටුවීම සඳහා රැස්වීම ඊයේ (නොවැ. 13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.මෙම හමුවේදී, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ ඕමානය අතර 1981 වසරේ සිට පැවතෙන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටියහ. ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද මෙහිදී අවධානයට ලක් වූ අතර, දෙරටේ ආර්ථිකයන්ට සහාය වීම සහ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක්විය.සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ හැකියාව මෙහිදී සාකච්ඡා විය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඵලදායී වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.මෙම රැස්වීමට ප්‍රථම, තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි මහතා සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වැඩිදියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.


2025-11-11

ගරු කථානායකතුමාගේ නිවේදන - 2025.11.11

නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය සහ (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා සභාපති නාමාවලියට ඇතුළත් කළ බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා නම් කරන ලද සභාපති නාමාවලියේ මන්ත්‍රීවරයන් අතරින් ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය සහ ගරු අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්ට පත්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා නීතිඥ සාගරිකා අතාවුද සහ (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කළ බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.ඊට අමතරව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, කිංස් නෙල්සන්, එම්.කේ.එම්. අස්ලම්, උපුල් කිත්සිරි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුජීව දිසානායක යන මහත්ම මහත්මින්ද සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට නම් කළ බව ගරු කථානායකවරයා නිවේදනය කළේය. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks