E   |     |  

ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණයට අදාළ කාර්ය සාධන දර්ශක පිළිබඳ පාර්ශවයන් කිහිපයක් සමග සාකච්ඡා කෙරේ

ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණයට අදාල කාර්ය සාධන දර්ශක පිළිබඳව සම්පත් දායකයන් කිහිපදෙනෙක් සමග සාකච්ඡා කිරිම ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදි.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරනයට අදාළ කාර්ය සාධන දර්ශක පිළිබඳ අංශ ගණනාවක් නියෝජනය කරන සම්පත්දායකයින් සමග ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගියදා (16) රැස්වූ අවස්ථාවේදී ය.

2018 වර්ෂයට අදාළව අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳ අවධානයට යොමු වී තිබූ අතර එම වර්ෂයේ දී ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට අදාළ ප්‍රධාන කාර්ය සාධන දර්ශක 12 ක් අන්තර්ගත කොට තිබුණි. මෙහිදී මෙම ප්‍රධාන කාර්ය සාධන දර්ශක 12 ට අදාළව පසුගිය වසරවල අයවැය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පසු විපරමක් සහ ඉදිරි අයවැය වලින් ඒ පිළිබඳ අවධානය යොමු වන ආකාරය පිළිබඳ අදාළ පාර්ශවයන් සිදුකළ අධ්‍යයනයන් ඇසුරෙන් සාකච්ඡාවට භාජනය කෙරුණි.

විශේෂයෙන් මෙහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ පාර්ශවයන් මෙම කාර්ය සාධක දර්ශක පිළිබඳ අවධානය යොමු කරමින් පසුගිය වසර කිහිපය තුළ අයවැයෙන් මුදල් වෙන් වූ ආකාරය පිළිබඳවත් එහි කාර්ය සාධනය පිළිබඳවත් අවධානය යොමු කරමින් තොරතුරු ඉදිරිපත් කළේය. එසේම ඉදිරි අයවැය වලදී මෙම කාර්ය සාධන දර්ශක ආශ්‍රිතව අවධානය යොමු විය යුතු අංශ පිළිබඳව ද මෙම පාර්ශවයන් කරුණු පැහැදිලි කළේය.

මෙහිදී අදහස් දැක්වූ මෙම විශේෂ කාරක සභාවේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ බොහෝ ක්ෂේත්‍රවලදී කාන්තාවගේ සහභාගිත්වය අවම මට්ටමක පවතින බවයි. විශේෂයෙන් සැලකිය යුතු කාන්තා පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගත්තද ඉන් පිටතට පැමිණි පසු පවුලේ වගකීම් සහ තවත් වගකීම් පැවරෙන නිසා කාන්තාව විවිධ ක්ෂේත්‍රවල කටයුතු කිරීම අවම මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළාය. එසේම ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේදී කාන්තාව ඉදිරියට ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඒ වෙනුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ බැංකු ණය ලබා ගැනීම පිළිබඳ ප්‍රගතිශීලි මට්ටමක් ඇති කිරීම කළ යුතු බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පැහැදිලි කළේය. මේ නිසා ඉදිරි අයවැය වලදී මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කමද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

එසේම මෙම ඉදිරිපත් කළ තොරතුරු ඉදිරියේ දී වැදගත් වනු ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී පැවසුවාය. ඒ වෙනුවෙන් අදාළ පාර්ශවයන් වෙත සිය කෘතඥතාව පළ කරන බව ද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මෙම රැස්වීමට කාරක සභාව නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා, එසේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තාරක බාලසූරිය, මයන්ත දිසානායක යන මහත්වරුන්, සම්පත් දායකත්වය ලබාදුන් පාර්ශව කිහිපයක නියෝජිතයින් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු මාර්ග ගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks