07

E   |     |  


එස්. එන්. සෙ‌නෙවිරත්න මහතා

එස්. එන්. සෙ‌නෙවිරත්න මහතා

1934 මැයි 29 වන දින ඇල්පිටියේදී උපත ලද නිහාල් සෙනවිරත්න මහතා 1940 වසරේ සිට 1944 වසර දක්වා රාජකීය කණිෂ්ඨ විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා පසුව ද්වීතීයික අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව 1945 වසරේ සිට 1954 වසර දක්වා එහි අධ්‍යාපනය ලැබීය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත්වූ හෙතෙම 1959 වසරේදී නීතිවේදී (LLB) උපාධිය ලැබුවේය. නීති ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය වර්ණවත් කර ගැනීමට රුචියක් දැක්වූ නිහාල් සෙනවිරත්න මහතා අනතුරුව නීති විද්‍යාලයට ඇතුලත්ව 1960 සිට 1961 දක්වා එහි අධ්‍යාපනය ලබා නීතීඥ අවසන් විභාගයෙන් සාර්ථකව සමත්වී 1961 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ වරයකු ලෙස පත්විය.

නිහාල් සෙනවිරත්න මහතාගේ පාර්ලිමේන්තු දිවිය ආරම්භ වූයේ 1961 වසරේදී පාර්ලිමේන්තුවේ දෙවන සහකාර ලේකම්අවරයා ලෙස පත්වීමත් සමගය. ඉන් අනතුරුව 1965 වසරේදී සහකාර ලේකම්වරයා ලෙස උසස්වීම් ලද හෙතෙම 1981 වසරේදී මහත් ගෞරව බහුමානයෙන් සලකනු ලබන පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධූරයට පත්විය. දශක තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු සේවය වෙනුවෙන් සිය දිවිය කැපකළ සෙනවිරත්න මහතා 1994 වසරේදී පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධූරයෙන් විශ්‍රාම ලැබුවේය.

ස්වකීය සේවා කාලය තුල වෙස්ට්මිනිස්ටර් සහ කැනඩාවේ ඔටාවා හි මහජන මන්ත්‍රී මණ්ඩලවල සහ වොෂින්ටන් හි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මාස තුනක කාලයක් ගතකළ නිහාල් සෙනවිරත්න මහතා ඉතා වටිනා ජාත්‍යාන්තර අත්දැකීම් සමුදායක් ලබා ඇත්තෙකි.

විශ්‍රාම යාමෙන් අනතුරුවත් විවිධ උපදේශක භූමිකා හරහා සිය විශේෂඥතාවය රජයට දායක කළ හෙතෙම 1996 වසරේ සිට 1998 වසර දක්වා එවකට අග්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මහතාගේ උපදේශකවරයකු ලෙස එතුමන් හට සිය විශාල සේවයක් සැලසූ අතර වසර 2004 සිට 2006 දක්වා දෙවසරක කාලයක් එවකට කථානායක වරයා වූ ගරු අනුර බණ්ඩාරනායක මහතාගේ උපදේශකවරයා ලෙස කටයුතු කලේය.

නිහාල් සෙනවිරත්න මහතාගේ ශෝභා සම්පන්න සේවා කාලය සහ මහජන සේවයට ඇති කැපවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුල නොමැකෙන සළකුණක් සනිටුහන් කොට ඇත. ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට ඔහු දැක්වූ දායකත්වය සහ ජාතියට සේවය කිරීමට ඔහු තුළ වූ උවමනාව, සේවය සහ නායකත්වය පිළිබඳ පරමාදර්ශී ගමනකට උදාහරණ සපයයි.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks