07

E   |     |  


බර්ට්‍රම් තිත්තවැල්ල මහතා

බර්ට්‍රම් තිත්තවැල්ල මහතා

බී.එස්.බී. තිත්තවැල්ල මහතා කීර්තිමත් රාජ්‍ය සේවකයෙක් ලෙස නොමැකෙන සලකුණක් තබමින් සිය ජීවිතයේ දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සේවය කිරීමට කැප කළේ ය. නීතියට හා කථිකත්වයට සහජයෙන් ම දැඩි ආශාවක් දැක්වූ තිත්තවැල්ල මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ස්වකීය ගමන ආරම්භ කළ අතර, එහිදී තම අනාගත අධ්‍යාපන හා වෘත්තීය ජයග්‍රහණ සඳහා අඩිතාලම දැමුවේය.

1963 වර්ෂයේ දී ලංකා නීති විද්‍යාලයෙන් නීතීඥයකු ලෙස සුදුසුකම් ගැනීමෙන් අනතුරුව තිත්තවැල්ල මහතා නීති වෘත්තිකයෙකු මෙන් ම කථිකයෙකු ලෙස ද සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ඉතා කෙටි කලක් තුළ ක්ෂේත්‍රයේ ඉහළට ම පැමිණියේය. කීර්තිමත් සම්මානයක් වූ කථිකත්වය සඳහා වන හෙක්ටර් ජයවර්ධන රන් පදක්කම ඇතුළුව ඒ මහතා දිනාගත් ගරු සම්මාන ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයට ඒ මහතාගෙන් ලැබෙන අනාගත දායකත්වය පුරෝකථනය කළේ ය.

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයේ සේවය කිරීමෙන් අනතුරුව තිත්තවැල්ල මහතා ජාත්‍යන්තර අත්දැකීම් සහ ශාස්ත්‍රීය විශේෂඥභාවය ලබා ගැනීමේ ගමනක් ආරම්භ කළේය. එක්සත් ජනපදයේ කොන්ග්‍රස් මණ්ඩල සභිකයන්ගේ කාර්යාවල කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස සේවය කිරීම, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු අභ්‍යාසලාභියෙකු ලෙස පුහුණුව ලැබීම සහ හාවඩ් නීති විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනීම මගින් ඒ මහතා ලැබූ අත්දැකීම් තුළින් ඒ මහතා ලොව පුරා ව්‍යවස්ථාදායක පරිචයන් පිළිබඳ මනා දැනුමකින් සහ ගැඹුරු අවබෝධයන්ගෙන් සන්නද්ධ විය.

1971 වර්ෂයේ දී තිත්තවැල්ල මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවෙනි ලිපිකරු සහායක ලෙස සිය ධුර කාලය ආරම්භ කළේ ය. ඉන් පසුව ඒ මහතා ඉහළ නිලයන්ට උසස්වීම් ලබමින් අවසානයේ 1994 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධූරයට පත්වෙමින් ප්‍රධාන භූමිකාව භාර ගත්තේය. ඒ මහතාගේ ධූර කාලය මුළුල්ලෙහි ම ඒ මහතා ස්වකීය නොසැලෙන කැපවීම, වෘත්තීයභාවය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය පිළිබඳව තමන් සතු වූ ගැඹුරු අවබෝධය ප්‍රදර්ශනය කළේය.

තිත්තවැල්ල මහතාගේ දායකත්වය ඒ මහතාගේ පරිපාලන රාජකාරි සීමාවෙන් ඔබ්බට ද විහිදී ගියේය. 1972 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සහකාර ලේකම් ලෙස කටයුතු කරමින් සහ නැවතත් 1978 වර්ෂයේ දී එම ක්‍රියාවලියට දායක වෙමින් ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ වැදගත් සන්ධිස්ථානවල ප්‍රධාන භූමිකාවන් ඉටු කළේය.

1995 වර්ෂයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 41 වෙනි සමුළුව සාර්ථකව පැවැත්වීම තිත්තවැල්ල මහතාගේ ධුර කාලය තුළ කැපී පෙනෙන සිදුවීමක් වූ අතර, එය ඒ මහතා සතු සංවිධාන ශක්තිය සහ රාජ්‍ය තාන්ත්‍රික සූක්ෂමභාවය පෙන්නුම් කරන සාක්ෂියක් විය.

කණගාටුදායක ලෙස, 2022 වර්ෂයේ දී සිදු වූ තිත්තවැල්ල මහතාගේ වියෝව ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ පිරවිය නොහැකි අඩුවක් නිර්මාණය කළේය. ඒ මහතාගේ සහායයින් සහ සමකාලීනයන් එකසේ ආදරය කළ, ඒ මහතා තුළ තිබූ අසමසම දැනුම, කැපවීම සහ හාස්‍යය පිළිබඳ හැඟීම නිසා ඒ මහතා පිළිබඳ මතකය සැමදා ජීවමාන වේ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks