2025-02-28
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
1994 සිට කොළඹ මහ නගර සභාවේ භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.
මෙම කරුණු අනාවරණය වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගිය පෙබ. 25 සහ 27 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම දිනයන්හිදී 2022 හා 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු කාරක සභාවට කැඳවා තිබුනහ.
මෙහිදී පළමු දින කරුණු දක්වමින් විගණකාධිපතිවරයා බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවසීය. 2023.07.06 වැනි දිනට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හා එම ගොඩනැගිල්ල නැවත කොළඹ මහ නගර සභාව වෙත ලබා ගැනීම පිළිබඳ නියෝග ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කාරක සභාව විසින් මීට පෙර ලබාදුන් නිර්දේශයට අනුව කොළඹ මහ නගර සභාව විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුනත් ගොඩනැගිල්ල නැවත මහ නගර සභාව වෙත ලබාගැනීමේ කිසිදු ප්‍රගතියක් පෙන්වා නොතිබුණි.
ඒ අනුව එහිදී අදහස් දක්වමින් නිලධාරීහු මහ නගර සභාවේ සේවයේ නියුතු සේවකයෙකු බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින්, සිදුකරමින් යන ව්‍යාපාරය පිළිබද කරුණු, කාරක සභාවට ඉදිරිපත් කළහ. එම සේවකයා මීට පෙර වැඩ තහනමකට ලක්ව සිට නැවතත් සේවයේ පිහිටවූ පුද්ගලයෙක් බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී සභාපතිවරයා විසින් එම මල් ශාලාව කොළඹ නගරයේ මල් ශාලාවක් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එහිදී නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ මල් ශාලාවක් සඳහා අවශ්‍යවන බලපත්‍ර නොගෙන අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව, සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පාරිසරික වාර්තාවක් හෝ නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න විමසීය. එහිදී කරුණු දැක්වූ නිලධාරීහු එසේ සිදුකිරීමට හැකියාවක් නොමැති බව කාරක සභාවට දැන්වූහ. ඒ අනුව අනීතිකව පවත්වාගෙන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදී.
මෙහිදී කාරක සභාව හමුවේ පෙනී සිටි එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය එම මල් ශාලාව අනීතිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇය සතු තොරතුරු කාරක සභාවට ඉදිරිපත් කළේය. එහිදී මෙම මල් ශාලාව 1994 සිට පවත්වාගෙන යන බව අනාවරණය විය. කුඨ ලේඛන පෙන්වා අදාළ මල් ශාලාවේ හා එම භූමියේ අයිතිය ලබා ගැනීමට එම සේවකයා උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් මේ පිළිබඳව දිගින් දිගටම තමන් කටයුතු කිරීම නිසා ජිවිත තර්ජන වලට පවා නතුවීමට සිදුවූ බවත් ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.
මෙම නීති විරෝධී ක්‍රියාවලිය ප්‍රසිද්ධියේ සිදුවන ක්‍රියාවලියක් බව පෙන්වා දුන් හිටපු නාගරික කොමසාරිස්වරිය 1994 සිට 2020 දක්වා කාලය තුළ මෙම ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිතා කිරීම වෙනුවෙන් මිලියන 41ක් අලාභයක් කොළඹ මහ නගර සභාවට සිදුව ඇති බව පෙන්වා දුන්නාය. එමෙන්ම රාජ්‍ය සේවකයෙකුට ව්‍යාපාර කිරීම නීති විරෝධී බැවින් වංචා සහගතව අදාළ ව්‍යාපාරයේ නම විටින් විට වෙනස් කරමින් ද ව්‍යාපාර කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවාය. තවද මෙම මල් ශාලාව පවත්වාගෙන යන කොළඹ මහ නගර සභාවේ සේවකයාට කොවිඩ් වසංගත සමයේ දේහයක් භූමදානය කිරීම සඳහා ලක්ෂ 6ක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම සම්බන්ධව සහ බොරැල්ල පොදු සුසාන භූමියේ නිකුත් කරන රිසිට්පත්, වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධව චෝදනාවට ලක්ව සිටි පුද්ගලයෙක් බවද කාරක සභාවේදී අනාවරණය විය.
දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන මෙම වංචනික ක්‍රියාවලිය තනි පුද්ගලයෙක්ට සිදුකිරීමට නොහැකි බවත් එම ක්‍රියාවලිය පිටුපස තවත් නිලධාරීන් රැසක් සිටින බවත් කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් පැවැසුහ. එම නිසා පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයාට එරෙහිව කටයුතු කළයුතු බව කාරක සභාව යෝජනා කරන ලදී .ඒ අනුව මෙම පුද්ගලයා විසින් රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කරමින් සිදුකරන මෙම ව්‍යාපාරය පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා විසින් බස්නාහිර පළාත් ප්‍රධන ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය. මෙහිදී අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව පිළිබඳව සිදු කළ හෙළිදරවු පිළිබඳව කාරක සභාවේ ප්‍රශංසාව හිටපු නාගරික කොමසාරිස්වරිය වෙත පිරිනමන ලදී. ඒ ප්‍රශංසාව ඇගේ පෞද්ගලික ලිපි ගොනුව සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මේ අතර කොළඹ මහ නගර සභාවේ රථවාහන ගාල් කුලී අදායම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. 2024 වන විට රථවාහන ගාල් කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 580ක් බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2025 වසරේදී රථවාහන ගාල් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේදී, හිඟ මුදල් ගෙවිය යුතු කොන්ත්‍රාත්කරුවන් ටෙන්ඩර් සඳහා තෝරා නොගැනීමට ක්‍රියා කර තිබෙන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එම හිඟ මුදල් අයකර ගැනීම් මේ වන විටත් ආරම්හ කර ඇති බව එම නිලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ. මේ අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයන්ට වාහන නැවැත්වීම සදහා වෙන්කළ භූමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති බව විගණන වාර්තාවකින් හෙළි ඇති බව කාරක සභාවට අනාවරණය විය. මෙහිදී කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයන්ට සම්ප්‍රදායිකව තමන්ගේ කාර්යාලය ආසන්නයේ වාහන නැවැත්වීම සදහා ඉඩක් වෙන්කරන බව නිලධාරීහු පැවසුහ. ඒ අනුව මෙලෙස තමන්ට ලබාදුන් භුමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති පිරිසෙන් අධිභාර කරගැනීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
තවද කොළඹ මහ නගර සභාවේ ක්‍රියාත්මක වූ smart street lighting ව්‍යාපෘතිය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.එහිදී කොළඹ මහ නගර සභාවේ මුදල් වැය නොවන වියදම් රහිත ව්‍යාපෘතියක් ලෙස ආරම්භයේදී මෙය හැඳින්වුවද මෙමගින් කොළඹ මහ නගර සභාවට රුපියල් බිලියන 2.45 ක පාඩුවක් සිදුව ඇති බව හිටපු කොමසාරිස්වරිය කාරක සභාවට දැන්වූවාය. ව්‍යාපෘතිය මෙහෙයවූ අදාළ සමාගමේ ඇතැම් කොන්දේසි සඳහා තමන් එකඟ නොවීම හේතුවන් එම සමාගමේ නිලධාරියෙකු තමන්ට තර්ජන සිදු කරමින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවද ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය කොළඹ නගරයේ ආරක්‍ෂිත කලාපයක වීථි ලාම්පු වල පාලනය එම කාල සිමාවේ එම සමාගම පාලනයේ තිබු බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් අදාළ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවද පැවසුවාය.මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම කාරණය බරපතල බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වහාම පැමිණිල්ලක් ගොනු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නේය.
මේ අතර කොළඹ මහ නගර සභාවට අයවිය යුතු හිඟ වරිපනම් ආදායම් ගණන කෝටි 500කට අධික බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. කොළඹ මහ නගර සභාවේ ආදායම් වල වාර්ෂික වර්ධනයක් තිබුණද මෙලෙස හිඟ අදායම් එකතු කරගැනීමේ නිසි වැඩ පිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් අය විය යුතු හිඟ මුදල වසරින් වසර වර්ධනය වෙමින් පවතින බව විගණකාධිපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් කොළඹ මහා නරග සභාවේ නිලධාරීහු මෙම හිඟය වසර ගණන සිට එකතුවෙමින් පවතින බවත් එම තත්ත්වය නිරාකරණය කිරීමට මුලිකවම වරිපනම් ගෙවීමට පවතින දේපොළ නිසියාකාරව හඳුනාගත යුතුව පවතින බවත් පැවසූහ. ඒම දේපළ හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමටත් ඒ ඔස්සේ හිඟ මුදල් ගෙවීමට සිටින පිරිස් හා එම මුදල් ප්‍රමාණය ගැන පැහැදිලි තොරතුරු ලබාගත හැකිවන බවත් එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.
මෙහිදී කරුණු දැක්වූ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් මෙම හිඟ මුදල් ලබාගැනීම සඳහා නිසි කාල රාමු ඇතුළත් වාර්තාවක් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. ඒ අනුව මේ වන විට හඳුනාගත් දේපොළ පවතින කොළඹ කොටුව ප්‍රදේශය තුළ එම හිඟ මුදල් මාසයක් තුළ අයකර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කාරක සභාව උපදෙස් ලබා දුන්හ. එමෙන්ම කොළඹ අනෙකුත් ප්‍රදේශවල දේපළ හඳුනාගනිමින් එම හිඟ මුදල් කඩිනමින් අය කර ගැනීම සඳහා කාල වකවානු ඇතුළත් සැලැස්මක් සහිත වාර්තාවක් සතියක් තුළ සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
මේ අතර මහ නගර සභාව සතුව නිරවුල් නොවී පවතින ඉඩම් නිරවුල් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. එහිදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ බාහිර පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් මේ වසර අවසානයට පෙර කොළඹ මහ නගර සභාව සතුව පතින සියලු ඉඩම් වල නිරවුල් භාවය සහතික කළ හැකි බව නිලධාරීහු පැවසුහ.
මෙම රැස්වීම් සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, ඇන්ටන් ජයකොඩි, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන රුවන්තිලක ජයකොඩි, චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, (වෛද්‍ය) ජනක සේනාරත්න, දිනිඳු සමන්, ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-04-23
ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ප්‍රවාහන ක්ෂේත්රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්රය යොමු කරවීම සඳහා වන දෙවැනි අනු කාරක සභා රැස්වීමේදී සාකච්ඡා විය. ඒ එම අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 10 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙම රැස්වීම සඳහා ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති,අනුකමිටු සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද එක්ව සිටියේය. තවද, විවිධ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන සහ ආයතන ප්‍රධානීන් ඇතුළු නියෝජිතයින් පිරිසක්ද ද සහභාගී වී සිටියහ.ඒ අනුව ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමේදී මතුවන ගැටලු සහ එම ගැටලු නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවන් ද අනු කාරක සභාවේදී දීර්ඝලෙස සාකච්ඡා කෙරිණි.ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවට ඒවාට නිසි ලෙස ප්‍රවේශ වීමේ පහසුකම් නොමැතිකම එම ප්‍රජාවට පවතින ප්‍රමුඛතම ගැටලුවක් බව මෙහිදී හඳුනාගැනිණි. බස්රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම හේතුවෙන් එම ආබාධ සහිත පිරිස් කුලී පදනම මත ලබාගත් වාහන වලින් තම ප්‍රවාහන පහසු කම ලබා ගන්නා බවත් ඒ වෙනුවෙන් අති විශාල මුදලක් ඔවුනට වැය කිරීමට සිදුවන බව පැමිණි සිටි පිරිස කාරක සභාවට අවධාරණය කරන ලදී.2006 අංක 1 දරන ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රවේශ නියෝගය පිළිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් එම ප්‍රජාවන්ට නිසි පහසුකම ලබාදියයුතු බව දක්වා තිබුණද එම නියෝග අදාළ ආයතන හෝ පුද්ගලයින් පිළිනොපදින බවද ඔවූහු පෙන්වා දුන්හ. ඒ අනුව එම නීති ප්‍රයෝගිකව ක්‍රියත්මක වීම තුළ ආබාධ සහිත ප්‍රජාවට ලැබෙන සහනය පිළිබදව ද ඔවුහු කාරක සභාවේ අවධානයට යොමු කළහ.බස්රථවල ඇතැම් කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආබාධ සහිත පිරිස් බොහෝ අපහසුතාවන්ට ලක්වන බව මෙම සංවිධනවල නියෝජිත පිරිස කාරක සභාවට පෙන්වා දුන්හ. මෙවැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මෙන්ම ආබාධ සහිත පිරිස් පිළිබඳ දක්වන ආකල්ප යහපත් මට්ටමටකට ගෙන ඒමේ අවශ්‍යතාවයද එම නියෝජිත පිරිස අවධාරණය කළහ.බස්රථවල සහ දුම්රියවල ආසන, නීතියක් මඟින්ම ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්කිරීම, කොන්ද්සි විරහිතව ආබාධිත පුද්ගලයින් බස්රථ සඳහා නංවා ගැනීමේ අවශ්‍යතාවය, දුම්රිය ස්ථානවල ආබාධ සහිත පිරිස් වෙනුවෙන් සන්නිවේදන පහසුව උදෙසා සකස් වියයුතු දේ පිළිබඳව මෙන්ම ඔවුන්ට බලපා ඇති තවත් බොහෝ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණි. එමෙන්ම ශ්‍රවනාබාධිත ප්‍රජාව සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම මේ වන විට නතර කර ඇති බවත් එය නැවත එම පිරිස වෙත ලබාගැනීමට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන ලෙසත් එම නියෝජිත පිරිස කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව මෙම ආබාධ සහිත පිරිසගේ ගැටලු හා යෝජනා ලිඛිතව මෙම කාරක සභාව වෙත සති දෙකක් තුළ යොමු කරන ලෙසත් එලෙස ලැබෙන ගැටලු හා යෝජනා සළකා බලා අවසන් වාර්තාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බවත් ගරු සභාපතිතුමිය පැවසුවාය.
2025-04-23
මාස දෙකක් තුළ ප්‍රවාහන අමාත්‍යාංශයේ යෝජනා ලබා දෙන ලෙසටත් දැනුම් දෙයිපොදු ප්‍රවාහන රථවල යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් අවධානයපොදු ප්‍රවාහන රියදුරන්ගේ වෘත්තීයභාවය වැඩි කිරීම සඳහා වූ යෝජනා මාසයක් තුළ ලබා දෙන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් බස්රථ මගීන්ගේ ආරක්ෂාව ඇතුළු පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින නෛතික රාමුව ශක්තිමත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පිහිටුවන ලද “ප්‍රවාහන ක්ෂේත්රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්රය යොමු කරවීම” සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු අනු කාරක සභාවේදී සාකච්ඡා විය.එම අනුකාරක සභාවේ සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් 2025.03.09 වැනි දින එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.මේ අනුව අනු කාරක සභා රැස්වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ වූ අතර පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අදාළ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් සතු අදහස් අනු කාරක සභාව වෙත ලබා ගැනීම සිදු විය.පොදු ප්‍රවාහන බස් රථ සඳහා යෝග්‍යතා සහතික ලබා ගැනීමේ ක්‍රියාපාටිය විධිමත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මෝටර් වාහන පනතේ 29 වගන්තිය අනුව බස්රථ, ලොරි රථ සහ ගිලන්රථ සඳහා මෙම යෝග්‍යතා සහතික නිකුත් කරන බවත් එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව පළාත් සභාවල ලියාපදිංචි ගරාජ මගින් සිදුවන බවත් නිලධාරීහු පැවසූහ. එම යෝග්‍යතා සහතික නිකුත් කරන ගරාජවල ප්‍රමිතිය, විශ්වසනීයත්වය ඇතුළු ගැටලු පවතින බැවින් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභා සභාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.මෝටර් වාහන පනතේ 19 වගන්තිය යටතේ පවතින “තැනීම් නියෝග” ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. මේ අනුව නව බස්රථ ගෙන්වීමේදී මෙන්ම පවතින බස්රථ වල මගී ආරක්ෂාව සඳහා අසුන් අතර නියමිත පරතරය, අනවශ්‍ය උපාංග ඉවත් කිරීම, ආසන පටි පැළදීම ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.මේ අනුව අදාළ දත්ත සහ තොරතුරු මත පදනම්ව පොදු ප්‍රවාහනයේදී මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු පියවරයන්ට අදාළ යෝජනා සහිත වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් සකස් කොට මාස දෙකක් තුළ ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙන ලෙස අනුකාරක සභා සභාපතිනිය නිලධාරීන්ට දැනුම් දුන්නාය.එසේම පොදු ප්‍රවාහන රථවල රියදුරන්ගේ වෘත්තීය භාවය වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුවිය. ඒ අනුව රියදුරු වෘත්තීය ප්‍රමිතිගත කිරීම සඳහා වූ යෝජනා මාසයක් තුළ මෙම අනුකාරක සභාවට ලබා දෙන ලෙසත් අනුකාරක සභාපතිනිය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දෙන ලදී. එසේම පසුගිය තෙමසක කාලය තුළ සිදුව ඇති මාර්ග අනතුරු පිළිබඳ දත්ත කාරක සභාවට කඩිනමින් යොමු කරන ලෙස ද කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. දත්ත මත පදනම්ව ඉදිරි නිර්දේශ සකස් කිරීමේ වැදගත්කම අනු කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.එසේම බස්රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මෝටර් වාහන පනත යටතේ ඊට අදාළව රෙගුලාසි සකස් කර මේවන විට අවසාන අදියරේ පවතින බව මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙම රෙගුලාසි කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් රියදුරුගේ ශරීරයේ පවතින මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම ඇතුළු තාක්ෂණික යාන්ත්‍රණය විධිමත්ව සකස්විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.මෙම අනු කාරක සභාව මගින් මූලික වශයෙන් ප්‍රවාහන ක්ෂේත්රය හා සම්බන්ධව කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ක්‍රියාත්මක කළ හැකි නීති සහ රෙගුලාසිවල වෙනස්කම් සොයා බැලීම සිදු කරනු ලබන අතර ඉන් පසු අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට නියමිතය.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද මෙම අනු කාරක සභා රැස්වීමට සහභාගී විය.
2025-04-10
සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (2025.04.02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබීය.ඒ අනුව, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට කෝප් සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (2025.04.09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත විය.මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය විය.මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේදීම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්තවූවද, එය එසේ තිබියදීම මෙහි වැඩකටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබු බවට කාරක සභාවට නිරීක්ෂණය විය. මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදු විය.මෙහිදි කෝප් සාමාජිකයන් උක්ත ජපන් හවුල් සමාගමේ මෙරට නියෝජිතයන් සහ අදාළ ආයතනයන්හි ඉහළ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක නිරත විය.මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සමාජිකයින්, ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකි බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නිලධාරීන්ට නිර්දේශ කරණු ලැබීය.මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නුදුරු දිනක නැවතත් කෝප් කාරක සභාවට කැදවීමට තීරණය කරන ලදි.මෙම ස්ථානීය පරීක්ෂාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු, අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගී වූහ.
2025-04-10
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නැහැ. පාර්ලිමේන්තු කාරක සභාවලින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කරන ලදී.මෙම තීරණය ගනු ලැබුවේ එම කාරක සභාව ඊයේ (අප්‍රේල් 09) එහි සභාපති ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව කාරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය විය. තවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF), යන කාරක සභා වලින් ලබා දුන්, ක්‍රියාත්මක නොවුණු නිර්දේශද ක්‍රියාත්මක කිරීමට මාසයක කාලයක් ලබාදීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී . ඒ අනුව, මෙම ක්‍රියාත්මක නොවුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපි යොමු කිරීමටත්, මසක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකිනම් ඊට හේතු කාරණා, ලිඛිතව කාරක සභාව වෙත ලබාගැනීමට ද තීරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.