07

E   |     |  

පරිපාලන දෙපාර්තමේන්තුව

නීති සම්පාදකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ රාජකාරී කටයුතු කාර්යක්ෂමව ඉ‍‍ටු කිරීම සඳහා දුරකථන, තැපැල් පහසුකම්, ලිපි ද්‍රව්‍ය, නවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම් වැනි සමහර අත්‍යවශ්‍ය පහසුකම් ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි වී ඇත.  පොදුවේ නීති සම්පාදකවරුන්ගේ මෙවන් කටයුතු ඉටු කර දීම සඳහා මන්ත්‍රී සේවා කාර්යාංශය සූදානම් ව සිටී.

එයට අමතරව, විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේගේ පවුලේ සාමාජිකයින් සඳහා ම වූ නුවරඑළියේ පිහිටි කාමර දහ නවයකින් සමන්විත සෙන්පති මැදුර නම් නිවාඩු නිකේතනය මෙම කාර්යාංශය මඟින් නඩත්තු කරනු ලබයි.

එක් එක් නිවසේ බිම් ප්‍රදේශය වර්ග අඩි 900 ක් වන, නිදන කාමර 03 ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, සේවක වැසිකිළියක් සහ වාහන නවතා තැබීමේ ඉඩ පහසුකම් සහිත, නිවාස ඒකක 120කින් සමන්විත මාදිවෙල නිවාස සංකීර්ණය ද නිවාස ලබා ගැනීම සඳහා නිසි සුදුසුකම් සහිත මන්ත්‍රීවරුන්ට පදිංචිය සඳහා කුලී පදනමින් ලබා ගත හැකි අතර එම කටයුතු පරිපාලනය කිරීමද මෙම කාර්යාංශයේ වැදගත් රාජකාරියක් වේ.

ගරු කථානායකතුමාගේ නිල නිවාසය සඳහා ඇතැම් සේවාවන් සපයා දීම ද මන්ත්‍රී සේවා කාර්යාංශය සිදු කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුවපහසුව සහ පහසුකම් සපයා දීම‍ට අදාළ සියලුම ගැටළු සළකා බලා උපදෙස් ලබා දෙනු ලබන, ගරු කථානායකතුමා සභාපතීත්වය දරන පාර්ලිමේන්තු කාරක සභාවක් වන ගෘහ්‍ය කාරක සභාවට අවශ්‍ය සේවා කටයුතු ඉ‍ටු කර දීම ද මෙම කාර්යාංශය විසින් ඉටු කරනු ලබයි.

ඉහත සඳහන් සේවාවන් ලබා ගන්නා ‍සේවාලාභීන් තෘප්තිමත්වීම තහවුරු කිරීම සඳහා මන්ත්‍රී සේවා කාර්යාංශය විසින් ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම්, කටයුතු සහ ආයතන කළමනාකරණය කිරීම අධීක්ෂණය කරනු ලබයි.

මන්ත්‍රී සේවා කාර්යාංශය විසින් මෙහෙයවනු ලබන කාර්යයන්

  • මන්ත්‍රීවරුන්ගේ හිමිකම් සහ පහසුකම් සපයාදීමට අදාළ උපදෙස් සහ පරිපාලන සේවා සපයාදීම සහ අවශ්‍ය විට සහ අවශ්‍ය පරිදි වෙනත් විවිධ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • සපයා දෙනු ලබන සේවාවාන්
    • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සඳහා දුරකථන
    • මාසික පදනමින් ලිපි ද්‍රව්‍ය
    • තැපැල් පහසුකම්
    • ආරක්ෂක ලාම්පු
    • රෝහල් පහසුකම්
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල නිවාස යෝජනා ක්‍රමයේ නිවාස වෙන් කර දීම.
  • නුවරඑළියේ පිහිටි සෙන්පති මැදුරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අවශ්‍ය කාමර වෙන් කර දීම.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල දුරකථනවල බිල්පත් ගෙවීම.
  • මාදිවෙල නිවාස ඒකකවල, ගරු කථානායකතුමා‍ගේ නිල නිවාසයේ සහ නුවරඑළියේ පිහිටි සෙන්පති මැදුරෙහි දුරකථන, ජල සහ විදුලි බිල්පත් ‍ගෙවීම.
  • සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමඟ මාදිවෙල නිවාස ඒකකවල සහ නුවරඑළිය සෙන්පති මැදුරෙහි අදාළ අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ ආවරණ කටයුතු පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කිරීම.
  • පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාලීය උපකරණ ලබා දීම සම්බන්ධීකරණය කිරීම.
  • මාදිවෙල නිවාස යෝජනා ක්‍රමය, නුවරඑළිය සෙන්පති මැදුර සහ ගරු කථානායකතුමාගේ නිල නිවසට අදාළ වරිපනම් සහ බදු ගෙවීම.
  • ගෘහ්‍ය කාරක සභා‍වේ ලේකම් තනතුරට අදාළ ලේඛන කටයුතු සිදු කිරීම. (රැස්වීම් කැඳවීම, අවශ්‍ය සේවා ලබා දීම, වාර්තා ලිපිගොනු සටහන් පවත්වාගෙන යාම)

 







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks